Monday, November 23, 2009

හොඳටෝ ම හිත රිඳුනා ......



කවදාවත් ම කාවවත් ම කවුරුන් ම හෝ අයිති කර ගන්න තරමේ ආදරයක් මගේ හිතේ ඇති වෙලා නෑ කිව්වොත්, මමයි මගේ හිතයි ඇරෙන්න වෙන කවුරුන් ම හෝ ඒක පිළිගන්න එකක් නෑ. මේ මුළු ලෝකෙම කියයි ඒක මුසාවක් කියලා. ඒ වුනත් මට තිබුණෙ හරිම පුංචි ම පුංචි ලෝකයක්.මගේ අප්පච්චී අම්මා අයියා ඒ මගේ පුංචි ම පුංචි ලෝකෙ මගෙ ළඟ තනියට මාත් එක්ක ම උන්නා. ඉතින් ගෙවිලා ගිය විසිහතර අවුරුද්දට ම ආදරයක් ගැන මහාම මහා ලෝබකමක් දැනුනේ ඹයාට ම විතරම යි. ඒක හරි පුදුම අහඹු සිදුවීමක් ...........

ඒත් ඒ ආදරේ ඇති වුනේ ඹයාගේ රුවට නම් නෙමේ කියලා දන්නවා. ඔය හිනාවට ද කතාවට ද කියලා මට තාමත් හිතා ගන්න බෑ.ජීවිතේ කවදාවත් ම, ම ’ නෙත් මායිමට නොපැමිණියා වූ ඹයාට මගේ හිතේ දොර කවුළු පියන් ඇරුනේ ඇයි කියන එක අදටත් මට උභතෝකෝටික පැනයක්.අපේ කතා බහ වෙන් වුනේ ගහකොළ ගැන සතා සිවුපාවා ගැන කතා කරන්න වුනත්, හරිම ආදරණීය විදිහට ආදරණීය ම වූ කතාබහකුත් ඒ අතරින් ගලාගෙන ගලාගෙන යමින් තිබුණා. ඔයා කීව ඒ කතා අහන්න සීලයෙන් අගතැම්පත් උපාසිකාවක් වගේ මම පේ වෙලා උන්නා. අතුරු කතා වාරයේ ඔයා මාත් එක්කලා පුංචියට රණ්ඩුවකුත් ඇති කර ගන්තා. ඔයාම ඇවිත් ඔයාම මට ආදරෙයි කියා ඔයාමයි මගෙන් ඈතට ගියේ. ඒ ගොඩාක් කලෙකට ඉස්සර. ඒත් අනේ මට තාමත් ඒ මතකය අද ඊයෙක වාගෙයි දැනෙන්නෙ. ඉර හිනා වෙන හැම දවසක ම මුළු ලෝකෙට ම හොරෙන් මං පාර බලාගෙන ඉන්නවා ඇස් වල කඳුළු පනිනකම් ම.ඒත් ඒ ඔබ එයි කියලා නම් නෙමේ.හරියට සංසාර පුරුද්දකට වාගේ. ඔයා ගොඩක් ඈතයි කියා මගේ හිත කවදාවත් ම පිළිගන්න සූදානම් නැති නිසාදෝ අර ඉස්සරෝ ම ඔයා මගෙත් එක්කලා කීව කතාවල ඉතුරු හරිය අහන්න මං රෑ නිදිමරාගෙන බලා උන්නා. ඒ උණුසුම් සිතුවිල්ල හීනයක් නෙමේ. හීතල ම හීතල වූ හීන පොකුරක් ...........

ඒත් මං අදටත් දන්නෑ ඔයා ඇයි මගෙන් දුරස් වෙලා ඈතින් ඈතට ම ගියේ කියා. ඇයි මං ඔයාට මේ තරම් ම ආදරේ කලේ කියා මට අදටත් කොහොමටමවත් හිතා ගන්නවත් බෑ. මගේ ඇස් දෙක පිය වෙනකම් ම මට ඒක නම් හිතාගන්නවත් බැරිවෙ යි ...............

මුළු ලෝකෙ ම කියන්නෙ අහස හුඟක් දුරයි කියල‍ා. මට හිතෙන්නෙ ඒ අහස මගේ, ඒක මට ගොඩාරියක් ම දුර නෑ කියා .............

මට හිතෙන මේ සිතුවිල්ල කවදාවත් ම ඔයාට දැනෙන්න නම් එපා. ඒ ඔයාගෙ අලුත් ලෝකෙට මං හින්දා පුංචි ම පුංචි දුකක් කරදරයක්වත් වෙන්න තියෙන ඉඩ අඩුම අඩු කරලා දාන්න ඕන නිසා ......

ඔයාට බුඳු සරණයි මගෙ දෙයියෝ ........!


2 comments:

  1. I think you should be think about this more that that.life is not a bed of rose.so my dear akki try to understand it.how ever I'm very sad about this insident.
    sadeepa nangi

    ReplyDelete
  2. Ane Nage....
    Don't try to match this story with in my life.......
    what ever thanks for your comment........

    ReplyDelete